Tuesday, April 9, 2013

මග සිටියොත් තෝ නසී - ගෙදර ගියොත් අඹු නසී



රජරට ප‍්‍රදේශයෙන් පැතිරීම ඇරඹුණු වකුගඩු රෝගයට සම්බන්ධ කතාවක් කීමට තිබේ. මෙම රෝගයට ප‍්‍රධාන හේතුව කෘමිනාශක, ශාක නාශක සහ පොහොර වශයෙන් අධික ලෙස රසායනික ද්‍රව්‍ය භාවිතා කිරීම යයි පැහැදිලි කළ විද්වතුන් පිරිස ඔවුන් මේ වග පළමුව දැනගත්තේ නාථ දෙවියන්ගෙන් යැයි කීහ. මේ කතාව ඇසූ සමහරු බඩ අල්ලාගෙන සිනාසුනහ. මෙසේ බඩ අල්ලාගෙන සිනාසුන පිරිස අතර නොයෙකුත් ආගම් අදහන්නෝ සිටිති. නොවරදවාම ඉරිදා පූජාවට යන්නෝ සිටිති. දිනපතා පස්වරක් දෙවියන්ට යාඥා කරන්නෝ සිටිති. දෙවියෝ කවුද? ඉස්ලාම් දෙවියා සැබෑ නම් ක‍්‍රිස්තියානි දෙවියා සැබෑ නම් බෞද්ධයන් දෙවියෙකු ගැන කියන විට එය බොරුවක් යයි පැවසීම ආගමික අන්තවාදයක් නොවේද? අන්තවාදියා හැමවිටම තමන්ගේ දේ පමණක් නිවැරදි යයි සිතයි.

බෞද්ධ නොවන සියලූ දෙනා මැවුම්කරුවෙකු අදහති. යොහෝතුමා මෝසස් සමග කතා කළ හැටි, එතුමා මෝසස්ට කී කාරණා බයිබලයේ පරණ තෙස්තමේන්තුවේ සඳහන් වේ. ඒ දෙවියන්ගේ පුත‍්‍රයා තම පියාට කුරුසියේ සිටිද්දීත් කතා කළ බව අලූත් ගිවිසුමේ සඳහන් වේ. කුරානය පිරී ඇත්තේ අකුරු කියවීමට නොදැන සිටි මොහොමඞ්තුමාට දෙවියන් කී කතා වලිනි. එබැවින් තර්කයට අනුව ආසනික් විස පිළිබඳව නාථ දෙවියන්ගෙන් දැනගත්තේය යන ප‍්‍රකාශයට කිසිම දේව බැතිමතෙකුට  විරුද්ධ විය නොහැක. දෙවිවරුන්ගෙන් පණිවිඩ දැනගැනීමට හැකිය යන ප‍්‍රකාශය අසත්‍යයක් නම් බයිබලය, කුරානය, භගවත් ගීතාව වැනි සියලූම පොත් පච පොත් ලෙස සලකා ඉවත දැමීමට සිදුවේ. ආසනික් කතාව පිළිගනී නම් බෞද්ධයින්ගේ දෙවියෙකු පිළිගැනීමක් සිදු වේ. මෙතැන සිදුවන්නේ බමුණාට සිදු වූ දෙයයි. මග සිටියොත් තෝ නසී - ගෙදර ගියොත් අඹු නසී වැනි දෙයකි.   

නාථ දෙවියන් මොන භාෂාවෙන් මේ පණිවිඩය දුන්නා දැයි ඇසීමට නොහැක. හේතුව නාථ දෙවියෝ ඉන්දියාව, චීනය, ජපානය, කොරියාව, ටිබෙටය, ලංකාව ඈ හැම රටකම ඇදහූ දෙවියෙකු බැවිනි. එතුමා බහුභාෂික දෙවියෙකි. යොහෝතුමා, අල්ලාතුමා වැනි එක භාෂාවක් පමණක් දැන සිටි දෙවියෙක් නොවේ.

එබැවින් අපට වැටහෙන්නේ වකුගඩු රෝගය හා නාථ දෙවියන් සම්බන්ධ කරගැනීම තර්ක ශාස්ත‍්‍රයට සම්බන්ධ කාරණයක් හැටියටය. බුද්ධාගම යනු තර්ක ශාස්ත‍්‍රය ගොඩනැංවූ හා දියුණු කළ ආගමකි. තර්ක ශාස්ත‍්‍රයට සම්බන්ධ නොයෙකුත් න්‍යායන් ඉන්දියාවේ ජීවත්වූ බෞද්ධ තාර්කිකයින් ඉදිරිපත් කර තිබේ. නමුත් ඊශ්වරවාදය (මැවුම්කරුවෙක සිටී යන මතය) තර්කවාදයට ඉඳුරාම පටහැනි දෙයකි. එය භක්තිවාදය හා සම්බන්ධ වේ. භක්තිවාදියා තර්කවාදය ප‍්‍රතික්ෂේප කරයි. අන්තවාදියෙක් වෙයි. තර්කවාදය මැඞීමට හැකි සෑම වෑයමක්ම දරයි. 

බෞද්ධයෝ තිස්තුන් කෝටියක් දෙවිවරුන් සිටිතැයි කියති. ඉස්ලාම් හා ක‍්‍රිස්තු භක්තිකයෝ, ‘නෑ එක දෙවියෙක් හා සාතන් කෙනෙක් ඉන්නවා’යි කියති. ‘හිරු බිලියන ගණනකි. විශ්වය අනන්ත වූවකි. එසේ නම් එක දෙවියෙකු සිටින්නේ කෙසේද?’ බෞද්ධ තර්කවාදීහු ඇසූහ. ඊට පිළිතුරු ආයේ කඩුවෙන් හා ගින්නෙනි. බුදුදහම අන්තවාදී ආගමක් යයි කියන බොහෝ දෙනා ආගම් නිසා අන්ධභාවය පත් වී සිටිති. 

No comments:

Post a Comment