Friday, May 3, 2013

රට බංකොලොත් කරන හා ජනතාව ගොනාට අන්දවන දිනය හෙවත් මැයි දිනය

පින්තූරෙ ගත්තේ - www.toonpool.com

අවුරුද්දේ දවස් විශේෂ දින ලෙස නම් කිරීම ඇමරිකානු වෙළඳ සම්ප‍්‍රදායකි. ඇමරිකාවේ දින හදන වෙළෙන්දෝ  තමන් හදන දිනය ගැන මනරම් කතාන්දරයකුත් ඉදිරිපත් කරති. හැලොවින් ඬේ, ඞී ඬේ, පාදර්ස් ඬේ, වැලන්ටයින් ඬේ,  ආදී වශයෙන් ඇති හැම ඇමරිකන්  දිනයක් ගැනම ඔවුන් හැදු කතාවක් තිබේ.  චිකාගෝ නගරය ලෙයින් තෙත්වීමේ කතාන්දරය මැයි දිනය නිමිත්තෙන් හදා ඇති කතාවයි. 

වෙළෙන්දෝ මැයි දිනය හදා වසර ගණනාවක් ගතවෙද්දී කොමියුනිස්ට්වාදය තහනම් කිරීමට ඇමරිකානු ආණ්ඩුවට සිදු විය. ඇමරිකාව පොහොසත් රටකි. එහි නිර්ධන පංති ආඥාදායකත්වයක් ගොඩනැගීමට තතනන පිස්සන්ට එරෙහිව ඇමරිකානු රජය මෙම පියවර ගත්තේය. අනතුරුව ඇමරිකානු ආරක්ෂක සේවය කොමියුනිස්ට්වාදය පතුරුවන්නන් දඩයම් කරන්ටත් පටන්ගත්තේය. එම නිසා කොමියුනිස්ට්වාදීන් නැතිව ගියෙන්  රට තුළ මැයි දිනය පැවැත්වීමට පිරිසක් නැති විය. අදටත් ඇමරිකාවේ මොනම ප‍්‍රාන්තයකවත් මැයි දිනයක් නොපැවැත්වේ.  

ඇමරිකාව කොමියුනිස්ට්වාදයට විරුද්ධව කටයුතු කරද්දී දෙවන ලෝක යුද්ධයෙන් පසු කොමියුනිස්ට් රටවල් වූ රුසියාව ප‍්‍රධාන නැගෙනහිර යුරෝපා රටවල් මැයි දිනය ඔවුන්ගේ දිනය වශයෙන් බාරගත්හ. මෙය ඇමරිකාව සමග ඔරොප්පුවට කළ වැඩක් නමුත් සෝවියට් සංගමය කල ඔලමොට්ටල කි‍්‍රයාවකි. ඇමරිකානු වෙළෙන්දන් දින හදන්නේ ව්‍යාපාරික පරමාර්ථයෙනි. නිදසුනක් වශයෙන්  හැලොවින් දිනය ගනිමු. මේ දිනයට අලෙවි කිරීමට බොහෝ භාණ්ඩ වර්ග නිෂ්පාදනය කෙරේ. හැලොවින් භාණ්ඩ වලින් කඩ සාප්පු පිරීයයි. එයින් හැලොවින් භාණ්ඩ නිපදවන්නන්ට හා අලෙවි කරන්නන්ට කරල පැහේ. නිෂ්පාදන අංශයේ හා අලෙවි අංශයේ  විශාල පිරිසකට රැකියා ලැබේ. ආදරවන්තයන්ගේ දිනය ගන්න. මෙදාට ආදරවන්තයින් අතර මොන තරම් භාණ්ඩ හුවමාරුවේද? මිලියන ගණනක් ආදරවන්තයෝ ආපනශාලා වලට ගොස් කා බි ප‍්‍රීතිවෙති. ඒ හැම දේටම වෙළඳාම හා මුදල සම්බන්ධය. ඔරොප්පුවට ඇමරිකන් මැයි දිනය බදාගත් සෝවියට් රටවලට මැයි දිනය ජාතික ධනය නැතිකරගන්නා දිනයක් විය. එදාට මුලූ රටේම වැඩකරන හා නොකරන මිනිස්සුන්ට නිවාඩු දෙන්නට සිදුවන සියලූ නිෂ්පාදන ඇන හිටින දිනයකි. රාජ්‍ය උත්සව සඳහා අප‍්‍රමාණ මුදල් වැය කරන්නට සිදුවිය.  

ලංකාවේ කම්කරු පක්ෂය පිහිටවූ ඒ. ඊ. ගුණසිංහ පළමුවෙන්ම මැයි දින උත්සවය පැවැත්වීය. ඉන්පසුව එංගලන්තයේ ඉගෙනුම ලබා ලංකාවට ආ සුපිරි ධනපති සමසමාජය නායකයෝ මැයි දිනය පවත්වන්නට ගත්හ. මොවුන්ගේ පෙළපාලිවල ඉදිරියෙන්ම එහි නායකයෝ ගමන් කළහ. ඔවුන් පස්සේ අනුගාමිකයෝ රැළේ ගියහ. ඔවුහු නොයෙකුත් සටන් පාඨ කියමින් ආවේගයෙන් කෑගැසූහ. ඇතැම් වෙලාවට, ‘සාදුකින් පෙළෙනවුන් දැන් ඉතින් නැගිටියව්’ නමැති සින්දුවත් ගායනා කළහ. ඒ කාලයේ ගම්වල මිනිස්සු මැයි පෙළපාලි යාමට තියා බලන්නටවත් කොළඹ ආවේ නැත. එජාපය මැයි දින පොළපාලි යන්නට පටන්ගත්තාට පසුව පෙළපාලි යාම සඳහා ගම්මුන්ව ලොරි වලින් කොළඹ ඇදීමේ සිරිතක් ආරම්භ විය. එය සමගි පෙරමුණු ආණ්ඩුවේ නායකත්වය ගත් ශ‍්‍රීලනිපයත් අනුගමනය කරන්නට ගත්තේය. 

ලංකාවේ මැයි දින උත්සවය යනු රටේ දේශපාලන පක්ෂ තම තමන්ගේ බලය පෙන්වීම සඳහා නටන මහා නාඩගමකි. එදින රටේ නිවාඩු දිනයකි. සියලූම රාජ්‍ය කටයුතු නවතී. රටේ සියලූ නිෂ්පාදන ඇන හිටී. රජය සාමය ආරක්ෂා කිරීම සඳහා විශාල වියදමක් දරයි. කොළඹ නගරය ඇතුළු නගර විශාල සංඛ්‍යාවක් අපවිත‍්‍රවේ. මෙවැනි කෝළම් නටන රටවල්වල මොන ආණ්ඩු බලයට ආවත් එම රටවල් පිරිහේ.  

මැයි දිනය මොන කෙහෙම්මලකට පවත්වන දිනයක්දැයි බොහෝ දෙනා නොදනිති. එය ජාත්‍යන්තර කම්කරු දිනය යයි පුවත්පත් යනාදියේ සඳහන්වේ. එහෙත් ඇමරිකාව වැනි රටවල කම්කරුවන් නමින් පිරිසක් නැත. ශ‍්‍රමිකයිනුත් නැත. එමනිසා ලෝක කම්කරු දිනය යනු මිත්‍යාවක් හා මුළාවක් පමණි. ‘කම්කරු දිනයේ’ ජනතාව ගොනාට ඇන්දවීම මැයි දිනය ආරම්භක යුගයේ පටන්ම සිදුවිය. මේ උදාහරණයකි.

කොල්වින් ආර් ද සිල්වා සමසමාජ පක්ෂයේ උප නායකයා වූයේය. කොල්ලූපිටියේ ඔහුගේ නිවසේ ගේට්ටුව නිතරම වැසී තිබුණ අතර කිසිම සහෝදරයෙකුට එහි ඇතුල්වීමට ඉඩක් නොලැබුණි. කොල්වින්ගේ රියදුරා   මැයි දිනය දවසේ බොරැල්ලේ කැම්බල් පිටියෙන් සමසමාජ පෙළපාලිය ආරම්භවීමට පැයකට පමණ පෙර තමාගේ බයිසිකලය පැදගෙන බොරැල්ලේ වුඞ්ලන්ඞ් නිවාසය ආසන්නයට ගොස් පාර අයිනේ ටික වේලාවක් සිටී. කොල්වින් කාර් එක පදවාගෙන එතනට විත් රියදුරාට වාහනය දී බයිසිකලය ගනී. රියදුරා කාර් එකේ ඇති වතුර බෝතලය ගෙන කොල්වින්ගේ පිට තෙමයි. ඒ දාඩිය දමා ඇති බව පෙන්වීමටයි ඊළඟට කොල්වින් බයිසිකලය පදින්නට ගනියි. බොරැල්ල හන්දියේ පිරී සිටින සමසමාජකාරයෝ ‘කොල්ලූපිටියේ සිට හතිදාගෙන බයිසිකලය පැදගෙන පෙළපාලියට එක්වන්නට එන නායකයා’ දැක ‘කොල්වින් සහෝදරයාට ජයවේවා’ කියමින් හුරේ දාති.  කොල්වින් ඔවුන්ට අත වනාගෙන බයිසිකලය පැදගෙන බැටී වීරකෝන්ගේ නිවසට යයි. එයද සහෝදරයන්ට ඇතුල්වීමට නොහැකි නිවාසයකි. බැටීගේ නිවසේ බයිසිකලය දමන කොල්වින් පයින් බොරැල්ල හන්දියට එයි. සහෝදරවරු කොල්වින් දුටු ගමන් දුවගෙන විත් ඔසවා ගනිති. ජයවේවා කියමින් හුරේ දමා දමා කරපිටින් කැම්බල් පිටියට ගෙන යති.  

වර්තමානයේ ජනතාව ගොනාට අන්දවන මීටත් වඩා හිනාකන වැඩ සිදුවේ.  

2 comments:

  1. //අදටත් ඇමරිකාවේ මොනම ප‍්‍රාන්තයකවත් මැයි දිනයක් නොපැවැත්වේ.//
    නිකං බොරු නොකිය ඉන්නව මනුස්සයෝ. පහලින් තියන ලින්ක් එකට ගිහින්ගියොත් ලොස් ඇන්ජලීස් නුවර පසුගියදා තිබුන මැයි රැලිය බලාගන්න පුලුවන්. මේවගේ ගොං කතා කියන්ඩ කලිං පොඩ්ඩක් හොයල බලල හිටියොත් වටිනව.
    http://photos.mercurynews.com/2013/05/01/photos-hundreds-participate-in-may-day-march-and-rally/

    ReplyDelete
  2. //එහෙත් ඇමරිකාව වැනි රටවල කම්කරුවන් නමින් පිරිසක් නැත. ශ‍්‍රමිකයිනුත් නැත.// තවත් හතර බීරි කතාවකි. ගොනෙක් වුනත් උම්බෑ නොකිය හිටියනම් කවුරුත් දැනගන්නෙ නෑ. මට පේන්නෙ ඔබතුමා හතර දිශාවටම හැරි හැරී උම්බෑ කියනව වගේ.

    ReplyDelete